Wednesday, October 26, 2011

අනුකරණය සහ "කොටියා ආවා"

ශ්‍රී ලංකාවෙ චිත්‍රපටි, සිංදු, රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, දැන් ඇත්තටම ලංකාවෙමද කියන ප්‍රශ්නේ අකමැත්තෙන් වුණත් අහන්න වෙනවා. මේ "නිර්මාණ" වලින් වැඩි හරියක් සම්පූර්ණයෙන්ම හරි කොටසක් හරි කොහෙන් හරි රටකින් හොරකම් කරපුව. වැඩියෙන්ම උස්සන්නෙ ඉන්දියාවෙන්. (ඉන්දියාව ඇමරිකාවෙන් උස්සන එක ඉතින් වෙනම කතාවක්) .

හොරකමත් අහුවෙන්නෙ නැතිවෙන්න කළානම් කමක් නෑ. ඒත් හුඟක් දේවල් අතේ පත්තු වෙන විදියට තමා උස්සන්නෙ. ඊට පස්සෙ නිකන් "අපිම හොයාගත්තා" "අපේම උත්සාහයක්" "අපේම අදහසක්" කියලා ගහන පම්පෝරි තමා බලන්න වැඩේ. අපේ රූපවාහිනී නාලිකවක විකාශය වෙන ඇමරිකාවෙන් (සහ ඉන්දියාවෙන්) උස්සපු "Who Wants to be a Millionaire" වැඩසටහනේ පසුබිම් සංගීතය පවා ඉන්දියාවෙ විකාශය වෙන ඇමරිකන්  කොපියෙ සංගීතයමයි. ඒත් ඒක කරනකොට කියන්නෙ "අපි තමා මේක මුලින්ම කරන්නෙ" කියල.

දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි මම මේ අපේ සැබෑ නිර්මාණ, සොයාගැනීම් අමතක කරන්නෙ කියල. ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්න. දැන් බලන බලන හැම පැත්තෙම කොපි. ඉතින් කවුරු හරි හොද නිර්මාණයක් කළාම දෙපාරක් හිතන්න වෙනව ඒ ගැන. කොච්චර මහන්සි වෙලා වටිනා නිර්මාණයක් කළත් මිනිස්සු ඒක පිලිගන්නෙ නෑ. හොඳ නිර්මාණ වලට කැමති අය ඒක සැක කරන්න බලනව. දැන් මේ ලිපියෙ මාතෘකාව පැහදිලි ඇති. හැබැයි තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනව - අපේ මිනිස්සුන්ට ඇත්තටම අලුත් නිර්මාණ ඕනේද? අපි ඒ තරමටම අනුකරණ වලට ඇබ්බැහි වෙලාද?

මේ ප්‍රශ්න වලට විසදුම් එන්න ඕන පාසලෙන් සහ විශ්ව විද්‍යාලයෙන්. ළමයින්ට හිතන්න දෙන්න ඕනේ. එයාලගෙ අමුතු, විකාර අදහස් විවෘත මනසකින් පිළිගන්න ඕනේ. උගන්නනවට වඩා ඉගෙනගන්න දෙන්න ඕනේ. කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් තව තව අලුත් නිර්මාණ, සොයාගැනීම් ශ්‍රී ලංකාවෙන් දකින්න නම් එහෙම කරන්න වෙයි. මම ස්ටීව් ජොබ්ස් ගෙ රසිකයෙක් නෙවෙයි. ඒත් එයාගේ එක කියමනකින් ඉවර කරන්නම් - "Stay hungry. Stay foolish"