Saturday, November 29, 2014

ආධ්‍යාත්මික ඝාතනය සහ ඡන්දය

ප්‍රභාකරන් ශ්‍රී ලාංකිකයින් ඝාතනය කළේය. ඔහු අප ශාරීරිකවද මානසිකවද ඝාතනය කළේය. නමුත්, ඔහුට අප ආධ්‍යාත්මිකව ඝාතනය කළ හැකි වූයෙ නැත. එනිසා ඔහු පරාජය වූයේය. ඛේදනීය කාරණය නම් මෙම ආධ්‍යාත්මික ඝාතනයේ කොන්ත්‍රත්තුව අප පාලකයන් විසින්ම භාරගෙන තිබීමයි. එසේ කළ යුත්තේ ඇයි? කොටින්ම කිවහොත් දූෂණය සහ වංචාව තම මූලික ආදායම් මාර්ගය බවට පත් කරගත් පාලනයකට ඇති භයානකම තර්ජනය බුද්ධිමත් ඡන්ද දායක ජනතාව වීමයි.

වංචාව සහ දූෂණයට පවතින අනුබලය පිළිබඳව කරුණු දැක්විය යුතු නැත. එය අප් රටේ රාජ්‍ය නායකයාම පිළිගෙන අවසනය. නමුත් ආධ්‍යාත්මික පිරිහීම පිළිබඳව නම් මඳක් සිතීම වටනේය. රෝග ලක්ෂණ පැහැදිලිය. රාජ්‍ය නායකයා ප්‍රසිද්ධ වේදිකවේ හොරකම පිළිබඳ පුරසාරම් දොඩන විට අත්පොළොසන් දීම මා මෑතකදී දුටු දරුණුම රෝග ලක්ෂණයකි. ආධ්‍යාත්මික ඝාතකයින් ජය ලබා ඇත. නමුත් ඒ කෙසේද?

මේ වූ කලී විෂම චක්‍රයකි. රාජ්‍ය නායකයාගේ කාර්ය භාරය ජනතාවගෙ මොළ මොට කිරීමයි. ඊට පහසුම මාර්ග‍ය අධ්‍යාපනයට කුඩම්මාගේ සැළකිලි ලබා දීමයි. දීමනා අඩුකිරීම්, විභාග අක්‍රමිකතා මින් කිහිපයකි. බොහොමයක් දියුණු රටවල් දියුණු වී ඇත්තේ අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සෞඛ්‍ය යනාදි අංශ පළමුව දියුණු කිරීමෙන් මිස කොන්ක්‍රීට් පාලම්, කාපට් පාරවල් හෝ සුපිරි හෝටල් ඉදි කිරිමෙන් නොවේ. ශ්‍රී ලංකාවේ මෙම අංශ පිළිබඳ සත්‍යය ඔබද මා ද දනිමු. අප පාලකයින් මෙය නොදන්නවා යැයි සිතිය නොහැක. ඔවුනට අවශ්‍ය වන්නේ ආධ්‍යාත්මය සිඳලූ ජන පිරිසකි. දිගු කාලීන සංවර්ධනයකට අවැසි දේ දියුණු කිරීම පසෙක ලා ජනතාව රවටන කොන්ක්‍රීට් වර්ධනයකට ඔවුන් ආවඩන්නේ එබැවිනි. එලෙසින් මොළ මොට වූ ජනයා නැවතත් පත් කරගන්නේද ඔවුන් රවටන පාලක පිරිසමය.

ජනමාධ්‍ය මවාපාන්නා වු කොන්ක්‍රීට් සුරඟන ලෝ තුළ අතරමං වූ  ඔවුහු එහිම ඇලී ගැලී වෙසෙති.
නමුත් අප තවමත් පමා වැඩි නැත. මේ සරල සත්‍යය වටහා ගත යුතුය. මෙය දැකීමට ඔබ 'මැරුවත් කොළ' හෝ 'මැරුවත් රතු' හෝ විය යුතු නැත. මෙම ඊනියා සුරඟන ලොවෙන් සැබෑ ලොවට පිවිසිය යුතුය. විෂම චක්‍රය බිඳ දැමිය යුතුය. ඔබට අවස්තාවක් පැමිණ ඇත. එයින් පල නෙලා ගත යුතුය.

මෙම ඝාතනය නවතාලිය යුතුය, මන්ද යත්, එය අපට නොදැනුනද, ශාරීරික හෝ මානසික ඝාතනයට  වඩා ප්‍රබල බැවිනි. තව දුරටත් මෙම චක්‍රය සක්‍රීයව පැවතුනහොත් අපට අලුත් 'අලි බාබා සහ හොරු හතලිහ' වන් කතාවක් ලිවිය හැකි වනු ඇත. පොදු අපේක්ෂකයා හොඳ ද නැද්ද යන්න මා නොදනිමි. නමුත් එක් දෙයක් දනිමි. ඒ නම් වත්මන් පාලනයට වඩා 'නරක' පාලනයක් ගැන මා හට සිතිය නොහැකි බවයි.

දේශපාලනය වැදගත්ය. ඒ පිලිබඳව කතා කල යුතුය. ඒ මන්ද යත් අප සියල්ලගේම අනාගතය ඒ මත රඳා පවතින බැවිනි. මෙම ඛේදනීය තත්වය වටහා ගත යුතුය. යුද්ධය දිනීම අගනේය. නමුත් එසේ දිනූ රත කෙළෙසීම මනා නොවේ. කතා, සිතුම් මෙන්ම ක්‍රියා ද අප රටට අවශ්‍යය. ක්‍රියාවේ අවමය ඡන්දයයි. තවමත් හුස්ම වැටෙන ඔබගේ විචාර බුද්ධියට සවන් දිය යුතුය.

ප.ලි. මෙය විජාතික බලවේගයන්ට හසුව බටහිර කුමන්ත්‍රණ කරුවන්ගේ ඩොලර් වලට ඇති ගිජු බව නිසා රචනා වූ ලිපියකි.