Wednesday, October 26, 2011

අනුකරණය සහ "කොටියා ආවා"

ශ්‍රී ලංකාවෙ චිත්‍රපටි, සිංදු, රූපවාහිනී වැඩසටහන්, ගුවන් විදුලි වැඩසටහන්, දැන් ඇත්තටම ලංකාවෙමද කියන ප්‍රශ්නේ අකමැත්තෙන් වුණත් අහන්න වෙනවා. මේ "නිර්මාණ" වලින් වැඩි හරියක් සම්පූර්ණයෙන්ම හරි කොටසක් හරි කොහෙන් හරි රටකින් හොරකම් කරපුව. වැඩියෙන්ම උස්සන්නෙ ඉන්දියාවෙන්. (ඉන්දියාව ඇමරිකාවෙන් උස්සන එක ඉතින් වෙනම කතාවක්) .

හොරකමත් අහුවෙන්නෙ නැතිවෙන්න කළානම් කමක් නෑ. ඒත් හුඟක් දේවල් අතේ පත්තු වෙන විදියට තමා උස්සන්නෙ. ඊට පස්සෙ නිකන් "අපිම හොයාගත්තා" "අපේම උත්සාහයක්" "අපේම අදහසක්" කියලා ගහන පම්පෝරි තමා බලන්න වැඩේ. අපේ රූපවාහිනී නාලිකවක විකාශය වෙන ඇමරිකාවෙන් (සහ ඉන්දියාවෙන්) උස්සපු "Who Wants to be a Millionaire" වැඩසටහනේ පසුබිම් සංගීතය පවා ඉන්දියාවෙ විකාශය වෙන ඇමරිකන්  කොපියෙ සංගීතයමයි. ඒත් ඒක කරනකොට කියන්නෙ "අපි තමා මේක මුලින්ම කරන්නෙ" කියල.

දැන් කෙනෙක්ට කියන්න පුළුවන් ඇයි මම මේ අපේ සැබෑ නිර්මාණ, සොයාගැනීම් අමතක කරන්නෙ කියල. ඔන්න ඔතනයි ප්‍රශ්නෙ තියෙන්න. දැන් බලන බලන හැම පැත්තෙම කොපි. ඉතින් කවුරු හරි හොද නිර්මාණයක් කළාම දෙපාරක් හිතන්න වෙනව ඒ ගැන. කොච්චර මහන්සි වෙලා වටිනා නිර්මාණයක් කළත් මිනිස්සු ඒක පිලිගන්නෙ නෑ. හොඳ නිර්මාණ වලට කැමති අය ඒක සැක කරන්න බලනව. දැන් මේ ලිපියෙ මාතෘකාව පැහදිලි ඇති. හැබැයි තවත් ලොකු ප්‍රශ්නයක් තියෙනව - අපේ මිනිස්සුන්ට ඇත්තටම අලුත් නිර්මාණ ඕනේද? අපි ඒ තරමටම අනුකරණ වලට ඇබ්බැහි වෙලාද?

මේ ප්‍රශ්න වලට විසදුම් එන්න ඕන පාසලෙන් සහ විශ්ව විද්‍යාලයෙන්. ළමයින්ට හිතන්න දෙන්න ඕනේ. එයාලගෙ අමුතු, විකාර අදහස් විවෘත මනසකින් පිළිගන්න ඕනේ. උගන්නනවට වඩා ඉගෙනගන්න දෙන්න ඕනේ. කරන්න ටිකක් අමාරු වෙයි. ඒත් තව තව අලුත් නිර්මාණ, සොයාගැනීම් ශ්‍රී ලංකාවෙන් දකින්න නම් එහෙම කරන්න වෙයි. මම ස්ටීව් ජොබ්ස් ගෙ රසිකයෙක් නෙවෙයි. ඒත් එයාගේ එක කියමනකින් ඉවර කරන්නම් - "Stay hungry. Stay foolish"



Sunday, September 25, 2011

අපේ පිංකම්

මේ ළඟදී අපේ නෑදෑයො ටිකක් එකතු උනා විනෝද චාරිකවක් යන්න කතරගමට. මගේ නම් ඉතින් කැමැත්තක් තිබ්බෙ නෑ ඔය "වන්දනාවට", ඒත් ඉතින් කතරගම ගිහින් නැති හින්ද මාත් සැට් උනා වැඩේට. දැන් කට්ටියම උදේ පාන්දර වාහනේකින් ගමන යන්න පිටත් වුණා. එහෙ යද්දි ටිකක්  හවස් වුණා. කතරගම පුංචි හොටෙල් එකක නැවතුනා රෑ පූජාවට යන්න බලාගෙන. මාත් ඉතින් නා කියා ගෙන පොඩි නින්දක් දැම්මා.

හවස ඇහැරෙද්දි කට්ටිය පූජාවට බරටම වැඩ . පළතුරු වට්ටි, මල මාල, හඳුන්කූරු, කපුරු, etc. හැමතැනම. මාත් ඉතින් අලයා වෙන්න බැරි හින්ද සෙට් උනා වැඩේට. දැන් ඔක්කොම සූදානම්. ඉස්සෙල්ලම ගියේ කිරි වෙහෙර වඳින්න. ඒ වැඩේ අවුලක් නැතුව ගියා. ඊට පස්සෙ තමා හොඳම හරිය....

කතරගම "පුද බිමට" ඇතුල් වෙනකොටම තරු පෙනුණා ඉන්න සෙනඟ දැක්කම. අම්මෝ... "බැතිමත්තු" සේනාවක් අපමණ "භක්තියෙන්" පෝලිමේ. අඩුම ගානෙ රුපියල් 100ක් වත් පූජා වට්ටියෙ. ඒ මදිවට දෙපැත්තෙම එක එක "දේව මන්දිර". ඒවටත් මාර බිස්නස්. මටත් ඉතින් තියන්න උනා රුපියල් 100ක්. මෙතන තර්ක විතර්ක දාන්න ගියොත් "දේව උදහසට" අහුවෙනවානෙ!!!

පෝලිම හැබැයි ඉක්මණට යනවා. දෙයියො මාර ඉක්මනට "කන්නලව්" ප්‍රොසෙස් කරනවනෙ. කොහොමහරි පළතුරු වට්ටිය දුන්නම එකෙන් බාගයක් හම්බවුණා ආයෙ. මාර බඩගිනි. ඉවර කරා ඒකෙන් බාගයක්. ඊට පස්සෙ පොල් ගෙඩියකුත් ගහන්නලු. මොන කරුමයක්ද? ගැහුවා ඒකත්. දෙන් ඉතින් දුක් කරදර ඔක්කොම ඉවරයි. කත්තිය ප්‍රීති ප්‍රමෝදයෙන් ආයෙත් එන්න ආවා.

ඊට පස්සෙ දවසෙ අපි ගියා ආයෙත් කිරි වෙහෙරට කිරි ආහාර පූජාවකට. මඟුලයි!!! එතැනත් දෙයියෙක්. මහාසේන. ඒ ඉස්සර ඉඳපු වීර සෙන්පතියෙකුගෙ පිළිමයක්. මේ යක්කු ඒක රෙදි වලින් ඔතල මෙන්න පූජා කරනව. පඬුරු දහස් ගාණක් පූජා වෙනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අපි රජ්ජුරුවන්ගෙ කාලේ ඉදන්ම මේවට රැවටුණා, තාමත් අපි ඒව පස්සෙ දුවනවා. අපි මහන්සියෙන් හම්බකරන සල්ලි ඒවට වියදම් කරනවා. අපේ දියුණුවට, අනිත් අයගෙ දියුණුවට මුකුත්ම කරන්නෙ නැතුව කොහෙවත් ඉන්න දෙවියො පස්සෙ දුවනවා. අපි පිංකම් කියල කියන්නෙ මේ වගේ බහුභූත වලට.

දෙයක් මතක් කරන්න බැරි උනා. අපි කතරගමට එන අතරමඟදී උඩවලව තියෙන, අනාථ වුණ අලි පැටවුන්ට කිරි දෙන තැනකට ගියා. එතැන අලි පැටවු 40කට වගේ කිරි දෙනව දවසකට 4 පාරක්. පිං කියන්නෙ මෙන්න මේවාට. දන්නවද එතැන ටිකට් එක කීයද කියලා? රු. 20යි.
දැන් හිතන්න... අපිට පේන, අපිට වැදගත් දෙයක් වෙනුවෙන් අපි වියදම් කරන්නෙ රු 20යි. ඒ වුණාට අපිට නොපෙනන, අපිට වැඩක් නැති දේකට අපි එ වගේ කීප ගුණයක් වුණත් වියදම් කරන්නෙ බොහොම සතුටින්.

හිතන්න....

Saturday, September 10, 2011

අපි තනියෙන් ද?

ටිකක් අමුතු මාතෘකාවක් "පිටසක්වළයෝ". ඇත්තටම උන් ඉන්නව ද? උන්ට ඉන්න වෙන තැන් තියෙනව ද? උන් මොන වගේ ද? ඔය දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නොත් වැඩේ ලේසියි. මෙහෙම හිතමු. අපේ සෞරග්‍රහ මණ්ඩලයේ විතරක් ග්‍රහයන් 8ක් ඉන්නවා. අපේ ක්ෂීරපථයෙ මේ වගේ සෞරග්‍රහ මණ්ඩල බිලියන ගාණක් තියෙනවා. එහෙම ක්ෂීරපථ බිලියන ගාණක් මේ විශ්වයේ තියෙනවා. "උන්ට ඉන්න වෙන තැන් තියෙනව ද?" ඉතින් එහෙම නැති වෙන්න පුළුවන් ද?

ඇත්තටම දැන් විද්‍යාඥයන් සැක කරනවා බ්‍රහස්පතිගෙ චන්ද්‍රයෙක් වෙන යුරෝපා සහ සෙනසුරුගෙ චන්ද්‍රයෙක් වෙන ටයිටන්ගෙ ජීවයක් තියෙන්න පුලුවන් කියල. ඒත් උන් මොන වගේ ද?

මෙතෙනදි විද්‍යාඥයන් බලන්නෙ අපෙ පෘථිවියේ ජීවය හැදෙන්න ඕනේ දේවල් මොනවද? ඒවා මේ තැන් වල තියෙනවද? කියල. එ දේවල් තමා මෙතේන්, ඇමෝනියා, හයිඩ්‍රිජන් සහ ජලය. ඉතින් මේ දේවල් කොහොම කොහොම හරි ඔය ඉස්සෙල්ලා කිව්ව තැන් වල තියෙනව කියල හොයාගෙන තියෙනවා. ඉතින් ඒ තැන් වල ජීවය තියෙන්න පුළුවන් කියලා උපකල්පනය කරනවා. ඒත්, මේ කියන "ජීවය" අපි - මිනිස්සු වගේ නම නෙවේ කියලයි එයාල හිතන්නෙ. උන් අපිට වඩා සෑහෙන්න වෙනස් - බොහෝ දුරට පොඩි ජීවින් කියලයි හිතන්නෙ. ඔය ඉතින් අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ ඇතුළෙ කතාව.

අපිට වඩා සෑහෙන ඈත තැනක ජීවය කොහොම වෙන්න පුළුවන්ද? විද්‍යාඥයෝ කියන්නෙ උන් බොහෝ දුරට අපිට වඩා තාක්ෂණයෙන් දියුණු වෙන්න ඉඩ වැඩි කියලා. ඒකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ සූර්යයා සාපේක්ෂව තරුණ වීමලු. ඉතින් ඒ පිටසක්වළයෝ අපේ ඇස් වලට නොපෙනෙන (නැනෝ) මට්ටමේ යන්ත්‍ර වෙන්නත් පුලුවන්. ඒත් මම නම් හිතන්නෙ ඔය "ජීවය" එක එක තැන් වලදි අර්ථ දැක්වෙන විදිය වෙනස් කියල. ඒ කිව්වෙ, උන් අපේ දෘශ්‍ය සහ ශ්‍රව්‍ය සංඛ්‍යාත පරාසයන්ට කොහොමටවත් අහු නොවෙන්නත් පුලුවන්.

හරි, දැන් පිටසක්වළයො ඇත්තටම ඉනන්ව ද? මම දන්න තරමට ඔය ගැන සැළකිය යුතු සාක්කි තාම හම්බවෙලා නෑ. විද්‍යාඥයෝ ගණන් බලන හැටියට රේඩියෝ තරංගයකට අපේ සූර්යයාට ළඟම තරුව, ඇල්ෆා සෙන්චූරි වලට යන්න අවුරුදු 4.5ක් යනවා. එහෙම බැලුවොත් ඔය පිටසක්වළයෝ හොයන වැඩේ එච්චරම ලේසි නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා, පිටසක්වළයෝ ඉන්නව කියන්න සාක්කි නැති එකෙන් ඔප්පු වෙන්න නෑ පිටසක්වළයෝ නෑ කියලා.

සැකසුවේ - History Channel - The Universe - Season 1 - Search for ET වාරතාමය වැඩසටහන ඇසුරින්

Saturday, July 30, 2011

කයිපර් වළල්ල ?

මේ මම එදිනෙදා පාර තොටේදි දකින දේ මගේම වචන වලින්. පුංචි පුංචි සිදුවීම්... "කයිපර් වළල්ල" කිව්වෙ අපේ සෞරග්‍රහ මණ්ඩලයෙ ඈතින් තියෙන ග්‍රහක වළල්ලක් වගේ එකක්. ඒකෙ පොඩි පොඩි ග්‍රහක කැබලි තියෙන්නෙ. වෙලාවකට ඒවා ගොඩක් එකතු වෙලා චන්ද්‍රයන් එහෙම හදන්නෙ නැත්තෙමත් නෑ.....

යුතුකම...

එදා වැහි දවසක්. ලෙක්චර්ස් ඉවර වෙද්දි හවස හතරයි. ගෙදර යන්නම ඕනෙ සති අන්තයක්. ඉතින් ඔන්න බැස්සා පාරට මොර සූරන වැස්සෙම. කොටුව වතුරෙන් යට වෙන්න ඔන්න මෙන්න. ප්‍රයිවෙට්, සී.ටී.බී. බස් පෝලිම් දැක්කම උණ ගැනෙණව.

කරන්න දෙයක් නෑ ස්ටේශන් එකට ගිහින් ගත්ත ටිකට් එකක්. 4.35ට නුවර යන සෙංකඩගල මැණිකේ බලාගෙන ඉන්නව. 'අපොයි' කි‍යවුණා ඒකෙ සෙනඟ දකිද්දි. මොනා කරන්නද ඉතින් නැග්ග ඔනෙ කෙහෙල්මලක් කියල. කෝච්චිය විනාඩි 5ක් වගේ පරක්කු වෙල ඇද්දුව. මම හිටගෙන 3 වෙනි පංතියෙ (නෑ පඞක්තියේ) , මාර ආතල් ඉතින්.

පැය බාගයක් වගෙ යද්දි කෝච්චිය ගම්පහට කිට්ටු වෙලා. මම හිටන් හිටි තැන ළඟ සීට් එකේ කෙනෙක් නැගිටල සීට් එක දුන්න මගෙ එහාපැත්තෙ හිටන් ගිය කෙනෙක්ට. එයා, මට කිව්වා "වාඩිවෙන්න පුතා" කියල. මම එපා කියල පෙරැත්ත කරද්දිම මාව සීට් එකේ ඉන්දුවා. මේ මනුස්සය දිගටම හිටගෙන ගියා තව පැයක් විතර. වටේ ඉන්න හැමෝම සීට් එක දුන්නම, ඒ චාන්ස් එක වෙන කාට හරි දීල මෙයා හිටගෙන යනව. 'අමුතු චරිතයක් වෙන්න ඕනේ' කියල මට හිතුනා.

කොහොමෙන් කොහෙමෙන් හරි මේ සීට් මාරුව යනකොට මෙ මනුස්සයා මගේ ළඟම වාඩි උනා.
"පුතා කොහෙටද යන්නෙ?"
"නුවරට. පිළිමතලාවට"
"මොනවද කරන්නෙ?"
"කැම්පස්. කොළඹ."
.............
ඔහොම කතාව යන ගමන් මෙයා මගෙන් අහනවා.
"පුතා දන්නවද එම්.පී. කියන්නෙ කාටද කියල?"
මේ මොන බහුභූත ප්‍රශ්නයක්ද? ඕක ඉතින් මහලොකු දෙයක්යැ.
"මෙම්බර් ඔෆ් පාර්ලිමෙන්ට්..."
මෙන්න ඒ පාර මෙයා හිනාවෙනව.
"පුතා මේ කෝච්චියට අලුත් වගේ. එම්.පී. කියන්නෙ 'මළ පෙරේතයා' කියන එකට. මළ පෙරේතයො කියන්නෙ වෙන එකෙක්ට සීට් එකක් වත් දෙන්නෙ නැතුව අහක බලන් යන උන්ට..."
මට නිකන් හොල්මන් වගේ.
"පුතා, මිනිස්සු හැමෝම මේ වෙලවට මහන්සි වෙල එන්නෙ. ඉතින් අපි මනුස්සකමට වාඩිවෙන්න දෙන එක අපේ යුතුකමක්. මම මේකෙ ඉඳන් යන්නෙ බොහොම අඩුවෙන්. ඒක මට සතුටක් පුතා"
මට දැන්නම් ඇත්තතම හොල්මන්. පුදුම හිතුණා මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නව නේද කියල.

එයා අලවුවෙන් බැහැලා ගියේ මට ෆෝන් නම්බර් එකත් දීලා, ඔනේ වෙලාවක ලිපියක් එහෙම පලකරගන්න ඔනේ නම් කතාකරන්න කියලා. අහ්, එයා ලක්බිම පත්තරේ උප කතෘ කෙනෙක් කියල කියන්න බැරි උනාණෙ.

කෝච්චිය පිළිමතලාවට එද්දි 8ට විතර ඇති. එතනින් බැහල ගෙදර යන අතර මට මතක් උනේ වචන 3ක්;

"ඒක අපේ යුතුකමක්"

~~