Wednesday, June 13, 2012

ආගමක අරටුව විය යුත්තේ...


මතභේදකාරී මාතෘකා - ආගම්, දර්ශන, මතවාද. ඒත් දැන් වෙන දේවල් දැක්කම කතා නොකරත් බෑ කියල හිතුනා. ආගමක් (මම මෙතැනදි දර්ශනය, මතවාදය කියන දේවල් ඔක්කොටම පොදු වචනයක් විදියට ආගම භාවිතා කරන්නම්) කියන්නෙ මොකක්ද? විකිපීඩියා නම් කියන්නෙ මානව වර්ගයාගේ ආධ්‍යාත්මය හා සදාචාරය සමඟ බැඳුනු සංස්කෘතීන්, විශ්වාස සහ පිළිගැනීම් වල එකතුවක් කියල. මට නම් වෙලාවකට හිතෙනව ආගමක් වෙලාවකදි මනුස්සයෙක්ගෙ භෞතික ජීවිතයටත් විශාල බලපෑම් එල්ල කරනව කියල.

ආගමක් නිර්මාණය වෙන්නෙ කොහොමද? පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් හිතනව මෙන්න මේ විදියට ලෝකය තිබ්බොත් හොඳයි, එහෙම වෙන්න නම් මෙහෙම කරන්න ඕනෙ, එහෙම කළොත් මෙන්න මේ ප්‍රතිඵල ලැබෙනව, නැත්නම් මෙහෙම වෙනවා. ඊට පස්සෙ ඒ හිතුව දේවල් අනිත් අය අතරට ගෙනියනව එක එක විධි උදවු කරගෙන. මෙතනදි මම මේ කියන "පුද්ගලයා" හෝ "කණ්ඩායම" සුපිරි බලයක් තියෙන මනුස්සයෙක් නැත්නම් දෙවියෙක් කියල ඒ මතවාදය පිළිගන්න අය නිර්වචනය කරගන්නව. ඊට පස්සෙ මේ අනුගාමිකයෝ තමන්ගෙ ආගම පතුරුවන්න උත්සාහ කරනවා.

ආගමක තියෙන ප්‍රධාන ලක්ෂණ මොනවාද? මට හිතෙන්න ආගමක මිනිසාගේ පැතිකඩ තුනක් ආවරණය කරන්න හදනවා. මනස, ආධ්‍යාත්මය සහ භෞතික ජීවිතය. අපිට දකින්න තියෙන ආගම් මේ දේවල් එක එක ප්‍රමාණයෙන් ආවරණය කරනවා. එහෙම කරන්න විවිධ ආකාරයෙ නීති නැත්නම් උපදෙස් ක්‍රියාත්මක වෙනවා. මේ නීති සහ උපදෙස් අතර සමබරතාවය ආගමෙන් ආගමට වෙනස් කියලයි මට හිතෙන්නෙ.

දැන් බලමු ආගමක අරටුව නැත්නම් හරය වෙන්න ඕනේ මොකක්ද කියලා. මට හිතෙන විදියට මොන විදියෙ නීති, උපදෙස් තිබුණත් ඒවා එල්ල වෙන්න ඕනේ ලෝකය යහපත් කරන උපක්‍රමයකට කියල. ලෝකය යහපත් වෙන්න නම් මනුස්සකම් රැකෙන්න ඕනේ. මනුස්සකම කියන්නෙ අපේ හිතට වැරදි කියල හිතෙන්න නැති, තව කෙනෙක්ට සහ තමන්ට යහපතක් වෙන දේවල් වලට කැමති වෙන එකට. ඒකයි මම හිතන්නෙ විශාල මිනිස්සු කණඩායමකට අරමුණු වුණ ආගමක් වගේ දෙයක හරය "මනුස්සකම" වෙන්න ඔනේ කියල.

කොහොමද තමන්ගේ ආගම මනුස්සකමට එකඟයිද කියල හොයාගන්නේ? ආගමේ තියෙන නීති හෝ උපදෙස් වල කොහේ හරි  'යමක් ලබාගැනීමට වෙනත් කෙනෙකුට (සතෙකුට උනත්) හිංසාවක් කල යුතුයි', 'තමන්ගේ දියුණුවට අනුන්ගෙ යහ පැවත්මෙන් වැඩක් නැහැ' වගේ දේවල් සටහන් වෙනවා නම් අපිට තේරෙන්න ඕනෙ මේ ආගමේ අරමුණ වැරදියි කියලා. උදාහරණයක් විදියට 'මේ සතා මැරුවොත්, ඔබට මෙන්න මේ සම්පත් ලැබෙනවා' වගේ ප්‍රකාශයක් ගමු. අපිට තේරුම් යන්න ඕනේ සතෙක් මැරුවම කොහොමද අපිට කොහෙවත් නැති සම්පත් ලැබෙන්න කියල. ආගමක් මනුස්සකමට එකඟද කියල බලාගන්න එක එච්චර අමාරු නෑ. ආගමේ තියෙන දේවල් පිළිගත් මානව සාරධර්ම වලට එකඟයි නම්, කියන දේවලින් තමන්ටවත්, අනුන්ටවත් කරදරයක් නැත්නම් ඒ ආගමේ අරමුණ හොදයි කියන්න පුළුවන්.

කොහොමවුණත් තව ටික කාලයක් යද්දි මනුස්සකම් කියන ඒවත් අමතක වෙයිද කියන එකයි ප්‍රශ්නෙ! අපි තාම එච්චර අවාසනාවන්ත නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. මට කියන්න ඕනෙ වුණේ තමන්ගෙ ආගම, දර්ශනය මොකක් වුණත් ඒක මනුස්සකම් අගයන, මනුස්සකම හරය කරගත් එකක් වෙන්න ඕනෙ කියල. එහෙම නැත්නම් අපිට දෙපාරක් හිතන්න වෙන්ව අපි ඒ ආගමේ 'අනුගාමිකයො' වෙන්න ඕනේද කියල!

මේ ලිපිය කිසිම ආගමකට විරුද්ධව හෝ පක්ෂපාතීව ලිව්ව එකක් නෙවෙයි කියන එක අවධාරණය කරන්න ඕනෙ. පාඨක දනෝ තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා.

ප.ලි: කාට හරි සරලව ලියපු ත්‍රිපිටකය, කුරාන‍ය, බයිබලය සහ හින්දු ආගම ගැන ලියැවුණු පොතක් දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්!