Tuesday, December 31, 2013

බුදු දහම අබිමුව ජෝතිෂය


මෙහෙම දෙයක් ලියන්න හිතුනෙ ලංකාවෙ බෞද්ධ බොහෝ දෙනෙක් ජෝතිෂය ගැඹුරින්ම විශ්වාස කරන බව පේන නිසා. හැබැයි අවධාරණයෙන් කියන්න ඕනි මොනයම් හෝ දර්ශනයක් හෝ ආගමක් අදහන කිසිදු කෙනෙක් පිලිබඳව කිසිම අමනාපයක් නෑ කියල. අනික මම මෙ ලිපිය ලියන්නෙ මගේ දැනුම මට්ටමින් කියලත් කියන්න ඕනි. මම වැරදි නම් නිවැරදි කරන්න ඕනි තරම නිදහස තියෙනව. මම බුදු දහමේ සහ ජෝතිෂයේ මූලික දෙවල් ටිකක් අරගෙන සසඳල බලන්නම්. අරමුණ තමයි මේ දේවල් කොයි තරම් එකෙනෙකට සම්බන්ධද නැද්ද කියල අදහසක් ලබාගැනීම්. වැඩි වැල්වටාරම් නැතිව කියන්න තියෙන කරුණු ටික කෙටියෙන්ම කියන්න උත්සාහ කරන්නම්.

බුදු දහමේ එන මූලික ඉගැන්වීමක් තමා කෙනෙක්ව එයාගෙ උප්පත්තියෙන්, කුලයෙන්, මලයෙන් මනින්න බෑ කියන එක. කෙනෙක්ගෙ තත්වය තීරණය වෙන්නෙ ඔහු/ඇය කරන ක්‍රියාවලින්. 

"නජච්ඡා වසලෝ හෝති
නජච්ඡා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මණො"


යමෙක් වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ උපතින් නොව කරන ක්‍රියා වලින්ය...

ජෝතිෂයේ මූලික ඉගැන්වීමම මේ සංකල්පයට විරුද්ධයි. එතෙන්දි කෙනෙක්ගෙ උපන් වෙලාව අනුව ඔහුගේ/ඇයගෙ ජීවිතය තීරනය වෙනව. කෙනෙක්ගෙ අධ්‍යාපනය, විවාහය, රැකියාව යනාදී සියලුම දේ උපන් වෙලාව මත තීරණය වෙනවා. සමහර ජෝතීර්වේදීන් සහ සාමාන්‍ය පුද්ගලයින් මේ මතයෙම නොසිටියත් බහුතරය ඉන්නෙ මේ මතයෙ කියන එක පැහැදිලියි.

බුදු දහමේ උගැන්වෙන තවත් සංකල්පයක් තමා නියමන ධර්මතා. මේ ධර්මතා වලින් පහදන්නෙ යම් කිසි ක්‍රියාවක් සිදුවීමට හේතු විය හැකි කාරණා - උතු, බීජ, කම්ම, ධම්ම, චිත්ත.

උතු - දේශගුණ විපර්යාස හේතුවෙන්
බීජ - උපත (උපන් ස්ථානය, කාලය, දෙමාපියන්, ...)
කම්ම - තමා කරන ලද ක්‍රියාවන්ගේ ප්‍රතිවිපාක වශයෙන්
ධම්ම - ලෝකයෙ ස්වභාවික ධර්මතාවය නිසා (ඉපදීම සහ මරණය )
චිත්ත - සිතේ හටගන්න නොයෙක් සිතුවිලි නිසා

ජෝතිෂයේදි අවධානය යොමු වෙන්නෙ මේ කාරණා වලින් බීජ නියාමය ගැන විතරයි. චිත්ත නියාමන‍යට අනුව තමන් කරන ක්‍රියා හොඳින් සිතා බලා තමන්ට හා අනුන්ට යහපතක් වෙන විදියට කරන්න පුලුවන්. නමුත් ජෝතිෂය මේ කටයුත්ත කේන්දරයට භාර දෙනවා. බුදු දහමේ චිත්ත නියාමනයට වැදගත් තැනක් හිමි වෙනවා. අපි ඔක්කොම දන්නව සිත මූලික වීම බුදු දහමෙ එන මූලිකම ඉගැන්වීමක් කියල. ජෝතිෂය මේ කාරණාව බැහැර කරනව.

"දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සංයමෙස්සංති
මොක්ඛන්ති මාරබන්ධනා"

යම් කෙනෙක් දුර ඇති අරමුණු කරා යන්නා වූ තනිව හැසිරෙන්නාවූ සිරුරක් නැත්තාවූ ශරීර ගුහාවේ නිදන්නා වූමේ සිත සංවර කරත්ද ඔවුහු මර බැම්මෙන් මිදෙත්.


මම දකින කණගාටුදායක තත්වය තමා ගොඩක් දෙනා බුදු දහම සහ ජෝතිෂය එක හා සමාන දර්ශන වගේ පෙන්වන්න උත්සාහ කිරීම. මම හිතන විදියට මේ දේවල් එකිනෙකට සෑහෙන්න වෙනස් දේවල්. අපිට ඇහෙන දේවලින් සහ මගේ පෞද්ගලික අත්දැකීම් අනුව බුදු දහමේ සත්‍යතාවය ලෝකය පුරා ප්‍රචලිත වෙනව. ජෝතිෂය වගේ විශ්වාස දියුනු වෙන රටවල් වලින් ඈත් වේගෙන යනවා. මනුෂ්‍යයන් වශයෙන් අපිට "උසස් මනසක්" ලැබිල තියෙන්නෙ ඒක පාවිච්චි කරල යහපත් දෙ කරන්න මිසක්, කලින් තීරණය වුනු දෙයක් මත ජීවිතය හසුරුවන්න නෙමෙයි කියලයි මම තදින්ම විශ්වාස කරන්නෙ. ශ්‍රී ලංකාව වගේ සම්පත් වලින් පොහොසත් රටක් දියුණු කරන්න නම් අපි මේ මිත්‍යා විශ්වාස වලින් මිදෙන්න වෙනවා.

බුද්ධ දේශනාවකින්ම ලිපිය ඉවර කරන්නම්. හිතල බලන්න ඔබ සැබෑ බෞද්ධයෙක් නම් ජෝතිෂය විශවාස කරන්න පුලුවන්ද කියන එක.

"නක්‌ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්ථෝ අත්ථස්‌ස නක්‌ඛත්තං
කිං කරිස්‌සන්ති තාරකා"

නැකැත් බලා වැඩකරන අඥානයා කෙරෙන්, බලාපොරොත්තු වන අර්ථ සිද්ධිය ඉක්‌ම යන්නේ ය. අභිෂ්ට ප්‍රතිඵල ලාභය ම නැකත වේ. ග්‍රහ තාරකාවෝ කවර නම් යහපතක්‌ සලසත් ද? නො සලසත් මැයි.

1 comment:

  1. මටත් ඔය කියන දේමයි ඔලුවේ තිබුනෙ... අපේ මිනිස්සු වෙනස් වෙන්න උත්සාහ නොගන්නේ ඇයි කියන එකයි ප්‍රශ්නේ... විශේශයෙන්ම තරුණ අය. දැන් මේ විශ්වාස ටිකක් ඈත් වෙනවා වුනත්, සමහර මිනිස්සු තමන්ට සිදු වුනු දේවල් නිසා මේව විශ්වාස කරනවා. ඒ දේ නවතින පාටක් නම් නෑ. තරුණ අයට මේවා පුරුදු කරන්නෙ වැඩිහිටි අය. ඉතින් කොහොමද නවතින්නේ?

    ReplyDelete